Monday, May 2, 2022

May Day Joint Declaration - sinhalese translation

2022-මැයි-01

මැයි දින ඒකාබද්ධ ප‍්‍රකාශනය

රතු මැයි දිනය දිගුකල් දිනේවා!



ලෝක නිර්ධන පංතියේ සහ මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී බලවේගවල ක්ෂණික කර්තව්‍යය වන්නේ ජාත්‍යන්තර තලයේ වර්ධනය වෙමින් පවතින විප්ලවවාදී තත්ත්වය ප‍්‍රයෝජනයට ගෙන, විනාශකාරී අධිරාජ්‍යවාදය විනාශ කොට, යුද්ධ සඳහා ඉඩ අහුරන සමාජවාදය ස්ථාපිත කිරීමයි!



මැයි දිනය යනු ලෝක නිර්ධන පංතිය තම අරගලයේ අධිෂ්ඨානය ප‍්‍රකාශ කරන දිනයයි. නිර්ධන පංතිය නිදහස, ස්වාධීනත්වය, සමානාත්මතාවය සහ ස්වෛරීභාවය සඳහා වන බලවේගවල සමතුලිතතාවය තක්සේරු කරන සහ වෙහෙස නොබලා තවදුරටත් අධිෂ්ඨානශීලීව සටන් කිරීමට සිය සම්පූර්ණ ශක්තිය බලමුලූ ගන්වන දිනයයි. මෙම දිනයේ දී නිර්ධන පංතිය සිය රටවල නිර්ධන පංති විප්ලවයේ සාර්ථකත්වයට සහ එලෙසම ලෝක සමාජවාදී විප්ලවයේ සාර්ථකත්වයට ද ප‍්‍රතිඥා දෙයි. අධිරාජ්‍යවාදයට එරෙහිව නිර්දය ලෙස සටන් කරන ලෝක නිර්ධන පංතියට මැයි දිනය වෙනුවෙන් අපි රතු ආචාරය පුද කරමු.



ලෝකය, පරිසරය, ජනතාව විනාශ කිරීම අධිරාජ්‍යවාදයේ ස්වභාවයයි. එය නොනැසී පවතින්නේ අනවරත විනාශ කිරීම් මගින් පමණි. අධිරාජ්‍යවාදය විනාශකාරී කොරෝනා නිර්මාණය කොට, ගෝලීයකරණ ප‍්‍රතිපත්තිවල කොටසක් ලෙස ආර්ථිකය ප‍්‍රතිව්‍යූහගත කරමින් සිය ආර්ථිකය හා මූල්‍ය අර්බුදයෙන් මිදීම සඳහා සමස්ත බර ජනතාව මත පටවමින් සිටී. එය ආසියාවේ, අප‍්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ පසුගාමී රටවල කොම්ප‍්‍රදෝරු නිලධාරිවාදී ධනේශ්වරය සහ මහ ඉඩම් හිමි පංති සමග සහයෝගයෙන් කටයුතු කරමින් බලහත්කාර හා අසමාන (සමාන නොවන) ගිවිසුම් හරහා ප‍්‍රාග්ධනය හා තාක්ෂණයේ නාමයෙන් ස්වභාවික සම්පත්, ලාභ ශ‍්‍රම බලකාය සහ වෙළඳපල අසීමිත ලෙස කොල්ලකමින් සිටියි. කෙසේ වෙතත් අර්බුදයෙන් ගොඩ එන බවක් පෙනෙන්නට නැත. අවපාතය, උද්ධමනය සහ විරැකියාව උත්සන්න වී ඇත. සෞඛ්‍ය, අධ්‍යාපනය ඇතුළු සමස්ත ජනජීවිතය අර්බුදයකට ලක්ව ඇති අතර ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණ පා සිටිති. දුප්පතුන් සහ පොහොසතුන් අතර විෂමතාවය වැඩි වෙමින් පවතී. යුද්ධ මත යැපෙන එක්සත් ජනපද ආර්ථිකය එහි සුපිරි ලාභය සඳහා ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම යුද්ධ ගණනාවක් සඳහා උල් පන්දම් දෙමින් ආයුධ විකුණමින් සිටියි. ජීවිතය බිහිසුණු තත්ත්වයකට ඇද වැටී ඇති අතර ජනතාව කැරලි ගසති. ඔවුන් මර්ධනය කිරීමට අධිරාජ්‍යවාදය ෆැසිස්ට් බලවේගවලට මුක්කු ගසයි. අධිරාජ්‍යවාදය විසින් අනුගමනය කරන විනාශකාරී ප‍්‍රතිපත්ති හේතුවෙන් ජාත්‍යන්තර සහ දේශීය මට්ටම්වල මූලික ප‍්‍රතිවිරෝධතා තීව‍්‍ර වෙමින් පවතින අතර එමඟින් විප්ලවවාදී තත්ත්වයන් ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී.



අධිරාජ්‍යවාදය හා පීඩිත ජාතීන් සහ ජනතාව අතර ප‍්‍රතිවිරෝධතාව



පසුගාමී රටවල් කිහිපයක ජනතාව අධිරාජ්‍යවාදී ගෝලීයකරණයට සහ රැකියා, අධ්‍යාපනය, සෞඛ්‍ය යනාදී අනෙකුත් මූලික පහසුකම් ලබා නොදෙන සහ මිල ඉහළ යාමට හේතු වන රජයන්ට එරෙහිව නිර්භීතව සටන් කරති. ජාතිකත්වයන් මර්ධනය කිරීමට එරෙහිව පීඩිත ජාතීන් සටන් වදිති. පසුගිය වසර 20 ක කාලයක් තුළ ඇෆ්ගනිස්තානය පීඩාවට පත් කරමින් සිටි එක්සත් ජනපද හමුදාවන් ඉවත් කර ගැනීමට සිදුවීම පසුගිය වසරක කාලය තුළ සිදු වූ එක් වැදගත් වර්ධනයකි. එක්සත් ජනපදය 1975 වියට්නාමයේදී මුහුණ දුන් ආකාරයටම 2021 දී ඇෆ්ගනිස්ථානයේ දී පරාජයට මුහුණ දුන්නේය. මෙම වර්ධනයන් මගින් පෙන්නුම් කරන්නේ ජනතාව දැඩි අධිෂ්ඨානයකින් සටන් කරන්නේ නම්, නූතන අධිරාජ්‍යවාදී හමුදාවන් ඉවත් කර ගැනීමට සිදු වන බවයි. උදාහරණයක් ලෙස ඉන්දියාවේ බ‍්‍රාහ්මණ හින්දු මෝදි රජයේ නව ලිබරල්, සංස්ථාවල අනුග‍්‍රහය ලබන ප‍්‍රතිපත්තිවලට එරෙහිව විවිධ පීඩිත පන්ති, කාණ්ඩයන්, ගෝත‍්‍රික සහ පීඩිත ජාතීන්ගේ සටන්කාමී අරගල සිදුවෙමින් පවතී. කම්කරු නීති වෙනුවට ගෙන එන නීති හතරට එරෙහිව, පෞද්ගලීකරණයට එරෙහිව, අනියම් කොන්ත‍්‍රාත්තු ක‍්‍රමයට, කෘත‍්‍රිම බුද්ධියට, කම්කරුවන් මත බර පටවන වැඩ කරන පැය ගණන වැඩිවීමට, සැබෑ වැටුප් පහත වැටීමට, බිහිසුණු සේවා කොන්දේසි සහ සුභසාධන වැඩසටහන් සහ අවම වැටුප් ලබා දීමට එරෙහිව මෙන්ම රැකියාව සහතික කර ගැනීම සඳහා කම්කරුවන් ඒකාබද්ධ අරගල දියත් කරති. ගොවි සංවිධානවල පුලූල් සහයෝගය ඇතිව මාර්තු 28-29 යන දිනවල වෘත්තීය සමිති විසින් පවත්වන ලද දීප ව්‍යාප්ත වැඩවර්ජනය පෙර නොවූ විරූ ලෙස සාර්ථකවීම කම්කරු ගොවි එක්සත්කම විදහා දක්වන සලකුණකි.



අධිරාජ්‍යවාදී රටවල ධනේශ්වර පංතිය සහ නිර්ධන පංතිය අතර ප‍්‍රතිවිරෝධතාව



අධිරාජ්‍යවාදය සිය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා නිර්ධන පංතිය සහ මධ්‍යම පන්තිය සූරාකමින් සිටී. එය කෘත‍්‍රිම බුද්ධි තාක්ෂණය උපයෝගී කර ගනිමින් ස්ථීර රැකියා සහ සුබසාධන වැඩසටහන් කප්පාදු කරමින් සිටී. එය ජනතාව මත අධික බදු බරක් පටවයි. කොරොනා අර්බුදයෙන් එළියට පැමිණි කොවිඩ් සීමා කිරීම්, රැකියා ඉවත් කිරීම, වැඩ කරන පැය ගණන වැඩි වීම, වැටුප් අඩුවීම සහ ඉහළ මිල ගණන් විසින් නිර්ධන පංතිය, සේවකයින්, සිසුන් සහ පරිසර ක‍්‍රියාකාරීන් මහා පරිමාණ උද්ඝෝෂණ හා වැඩ වර්ජන කරා ගෙන යමින් තිබේ. රටවල් ගණනාවකම කම්කරුවන්ගේ උද්ඝෝෂණ සටන්කාමී ස්වරූපයක් ගනිමින් සිටී.



අධිරාජ්‍යවාදී රටවල් අතර ප‍්‍රතිවිරෝධතා



එක්සත් ජනපදයේ නව ජනාධිපති ජෝ බයිඩන් එක්සත් ජනපදයේ පිරිහෙමින් පවතින ලෝක ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා අතිශයින්ම ආක‍්‍රමණශීලී තීරණ ගනිමින් ඒවා ක‍්‍රියාත්මක කරයි. එය QUAD මගින් ශක්තිමත්වී, AUKUS නිර්මාණය කොට අධිරාජ්‍යවාදී තරඟකරුවන් ලෙස ඉදිරියට පැමිණෙන, රුසියාව සහ චීනය පාලනය කිරීමට නේටෝ සහ G-7 රටවල්වල ආධිපත්‍යය පෝෂණය කරයි. නමුත් යුරෝපය එක්සත් ජනපදය සමග සහයෝගයෙන් කටයුතු කළ හැකි තත්ත්වයක නැත. ජර්මනිය සහ ප‍්‍රංශය රුසියාවෙන් ආනයනය කරන තෙල් හා ගෑස් මත රඳා පවතී. අනෙක් අතට තායිවානයේ කටයුතුවලට ඇඟිලි ගසමින්, තායිවාන මුහුදු තීරයේ චීනය සහ එක්සත් ජනපදය තරඟයට සිදු කරන යුද අභ්‍යාස වඩ වඩාත් භයානක වෙමින් පවතී. රුසියාව සහ චීනය හමුදා සහයෝගීතාව සඳහා ගිවිසුමක් ඇති කර ගෙන ඇත. සීතල යුද්ධය අවසන් වීමෙන් පසු අධිරාජ්‍යවාදී රටවල් අතර ආතතීන් සහ ගැටුම් පෙර නොවූ විරූ තීව‍්‍ර මට්ටමකට ළඟා වී ඇත. මෙම ක‍්‍රියාවලියේදී රුසියාව යුක්රේනයට එරෙහිව ආක‍්‍රමණශීලී යුද්ධයක නිරත වී ඇත. එක්සත් ජනපදය රුසියාවට දුන් පොරොන්දු කඩ කොට නේටෝව ව්‍යාප්ත කළ අතර බලහත්කාරයෙන් හෝ උපායෙන් ඇද ගැනීමෙන් රටවල් 30ක් එහි කොටස්කරුවන් බවට පත් කළේය එය යුරෝපයේ 3 වන විශාලතම මිලිටරි බලවතා වන යුක්රේනය නේටෝවට සම්බන්ධ වන බව නිවේදනය කළේය; යුක්රේනය සමග ඒකාබද්ධ හමුදා අභ්‍යාස සිදු කළහ; යුක්රේනයට සහය දැක්වීම සඳහා එහි හමුදා, යුධ නැව් සහ මිසයිල යෙදවීය; මේ සමගම රුසියාව යුක්රේනයේ දේශසීමාවල ලක්ෂ එකහමාරක හමුදාවක් යෙදවූ අතර අධිරාජ්‍යවාදී ප‍්‍රතිවිරෝධතා පුපුරා ගිය අතර යුකේ‍්‍රනයට එරෙහිව රුසියානු ආක‍්‍රමණික යුද්ධය සඳහා මග සැලසූහ. මෙය පසුගිය මාස දෙකක කාලය මුළුල්ලේ එය විනාශකාරී ආකාරයෙන් සිදුවෙමින් පවතී. රුසියාව සහ යුක්රේනය අතර පැවති සාකච්ඡා අප්රේල් 12 වැනිදා අසාර්ථක විය. යුද්ධය තව දුරටත් විනාශය කරා ඇදී යන බවට බවට සැකයක් නැත. එය ජනතාව මතට දරාගත නොහැකි පීඩනයක් හා අර්බුදයක් තල්ලු කොට ඇත. ලෝක නිර්ධන පංතිය සහ අනෙකුත් පීඩිත පංති සහ පීඩිත ජාතිකත්වයන් අධිරාජ්‍යවාදී රටවල ආර්ථික හා අධිපතිවාදී අවශ්‍යතා කෙළිය නිසා දුක් විඳිති. තුන්වන ලෝක යුද්ධයේ අන්තරාය මතුවෙමින් තිබේ.



යුක්රේනය මත රුසියානු ආක‍්‍රමණික ස්වරූපයෙන් පැන නැගි යුද්ධය අධිරාජ්‍යවාදී යුද්ධයකි. යුක්රේනය එක්සත් ජනපදය අතෙහි ඇති ඇමක් බවට පත් වී ඇත. යුද්ධය හෙළා දකින ලෙස අපි කම්කරුවන්, ගොවීන්, මධ්‍යම පන්තික සහ අනෙකුත් පීඩිත පංති සහ පීඩිත ජාතීන්ගෙන් ඉල්ලා සිටිමු. අපි ලෝකයේ නිර්ධන පංතියෙන්, පීඩිත පංතිවලින් සහ පීඩිත ජාතිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ‘කම්කරු පන්තියට’ රටක් නැත යන කාල් මාක්ස්ගේ සහ ෆෙඩ්රික් එංගල්ස්ගේ ඉගැන්වීම් ආරක්ෂා කරන ලෙසයි... ‘සෑම තැනකම සිටින කොමියුනිස්ට්වාදීන් පවතින (ධනවාදී) සමාජ-දේශපාලන ක‍්‍රමයට එරෙහිව ඒ ඒ සහ සෑම විප්ලවවාදී ව්‍යාපාරයකටම සහය දැක්විය යුතුයි’, ‘සියලූ රටවල කම්කරුවනි සමගිවව්’ ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී ගුරුවරයා වූ ලෙනින් ගේ ඉගැන්වීම වන, ... ‘ප‍්‍රබුද්ධ නිර්ධන පංතිය කිසිදු අධිරාජ්‍යවාදී වෘක රංචුවකට සහය දක්වන්නේ නැත....’ එය කිසිදු අධිරාජ්‍යවාදී රටක යුද්ධයක් සමග සිට ගන්නේ නැත. සිය පිරිහෙමින් පවතින ලෝක ආධිපත්‍යය පවත්වා ගැනීමට යුක්රේනය බිල්ලක් ලෙස ගනිමින් එක්සත් ජනපදය සිදු කරන විනාශකාරී ක‍්‍රියාමාර්ග වලට එරෙහිව සටන් කිරීමට, ලෝකය පුරා ජනතාව එක්සත් ජනපදය නේටෝවේ නායකත්වයෙන් ඉවත් කර ගැනීමට බල කරමින් සටන්කාමී අරගල වල නිරත වෙමින් සිටියි. රුසියාවේ සහ ලෝක ජනතාවගේ අභිලාශයන්ට අනුව රුසියාව වහාම සහ කොන්දේසි විරහිතව යුද්ධය නවත්වා සිය හමුදාව නැවත කැඳවා ගත යුතු ය. විප්ලවවාදී තත්ත්වයන් වර්ධනය වෙමින් පවතී. ඒවා ප‍්‍රයෝජනයට ගෙන අධිරාජ්‍ය විරෝධී අරගල තීව‍්‍ර කිරීම ලෝක නිර්ධන පන්තියේ කාර්යභාරයයි. එමගින් පූටින් ආණ්ඩුව වෙතට පීඩනය යෙදිය යුතුය. රුසියාව න්‍යෂ්ටික යුද්ධයේ යෙදී තුන්වන ලෝක යුද්ධය ආරම්භ කරන්නේ නම්, පළමු ලෝක සංග‍්‍රාමය සිවිල් යුද්ධයක් බවට පරිවර්තනය කිරීමෙන් 1917 දී ලෙනින් සහ ස්ටාලින් යන සහෝදරවරුන්ගේ නායකත්වයෙන්, නිර්ධන පංතියේ නායකත්වයෙන්, සමස්ත පීඩිත පංතිවල සහ පීඩිත ජාතීන්ගේ ඔක්තෝබර් විප්ලවයේ සාර්ථකත්වයේ විශිෂ්ට අත්දැකීමෙන් නිර්ධන පංතිය ඉගෙන ගත යුතු අතර එහි උරුමය ආරක්ෂා කරමින් පූටින් ආණ්ඩුව බිඳ දැමිය යුතුය. එය නිර්ධන පංතියේ නායකත්වය තුළ නව සහ උසස් සමාජවාදී ආණ්ඩුවක් ස්ථාපිත කළ යුතුය. එක්සත් ජනපදයේ සහ යුරෝපීය රටවල නිර්ධන පංතිකයින් සහ පීඩිත ජනතාව මෙම යුද්ධයේදී යුක්රේනයට උල්පන්දම් දීම නතර කරන ලෙස ඉල්ලා නිර්ධන පංතියේ නායකත්වයෙන් සටන්කාමී ව්‍යාපාර සිදු කළ යුතුය. එක්සත් ජනපද නේටෝ හවුල තුන්වන ලෝක යුද්ධයක නිරතවන්නේ නම්, එය සිවිල් යුද්ධයක් බවට පරිවර්තනය කළ යුතුය.



එපරිද්දෙන්ම, නව සමාජ-අධිරාජ්‍යවාදී චීනයේ නිර්ධන පංතිය එයට පාඩමක් ඉගැන්විය යුතුය. සරණාගතයන් ලෙස වෙනත් ප‍්‍රදේශවලට පලා යන යුක්රේනයේ ජනතාව මානුෂීය දෘෂ්ටිකෝණයකින් ආරක්ෂා කරන ලෙස අපි ලෝක නිර්ධන පංතියෙන් සහ පීඩිත ජනතාවගෙන් ඉල්ලා සිටිමු. යුක්රේනයේ නිර්ධන පංතිය සහ පීඩිත ජනතාව එරට නේටෝවෙහි සහ විශේෂයෙන්ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදින්ගේ පරිවාර රාජ්‍යයක් බවට පත් කළ, පූර්ව නේටෝ ගැති, විශේෂයෙන්ම පූර්ව එක්සත් ජනපද-යුරෝ අධිරාජ්‍යගැති සෙලෙන්ස්කි ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති හෙළා දැකිය යුතුය. ඔවුන් තම රටේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීමට සහ තම ජාතිකත්වයේ පැවැත්ම සඳහා අධිරාජ්‍යවාදීන් විසින් පනවන ලද යුද්ධය සිවිල් යුද්ධයක් බවට පරිවර්තනය කළ යුතුය. යුක්රේනයේ පීඩිත ජනතාව රටේ නිර්ධන පංතියේ නායකත්වය යටතේ සියලූ වර්ගවල අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කර ස්වෛරීත්වය සාක්ෂාත් කරගත යුතුය. ඩොනෙට්ස්ක් සහ ලූහාන්ස්ක් ජනරජවල ඩොන්බාස් ප‍්‍රදේශයේ පීඩිත ජාතිකයන් සහ ජනතාව තම අනාගතය සාක්ෂාත් කර ගත යුත්තේ රුසියානු අධිරාජ්‍යවාදය මත යැපීමෙන් නොව නිර්ධන පංතියේ නායකත්වය තුළ ඔවුන්ගේම ශක්තිය මත ය. කොම්ප‍්‍රදෝරු ආණ්ඩු අධිරාජ්‍යවාදී රටවල් සමග ඇතිකරගත් යුද ගිවිසුම් ඇතුළු සියලූ ආකාරයේ ගිවිසුම් අවලංගු කිරීමට පසුගාමී රටවල ජනතාව සටන් කළ යුතුයි. අධිරාජ්‍යවාදී සූරාකෑමෙන් හා පීඩනයෙන් මිදී ලෝක සාමය ස්ථාපිත කිරීමට ලෝකයේ නිර්ධන පංතියේ සහ මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී බලවේගවල එකම මාර්ගය සහ ක්ෂණික කර්තව්‍යය වන්නේ අධිරාජ්‍යවාදය මේ පොළොවෙන් තුරන් කර යුද්ධ සඳහා කිසිදු ඉඩක් නොසලසන සමාජවාදය පිහිටුවීමයි.



මෙම කාර්යය සාක්ෂාත් කර ගැනීම සඳහා වර්තමානයේ ඇති සුවිශේෂී තත්ත්වයන්ට අනුව උචිත ජාත්‍යන්තර විප්ලවවාදී නිර්ධන පංති සංවිධානයක් පිහිටුවීම අවශ්‍ය වේ. මෑත කාලීනව ලෝකයේ ඉදිරිගාමී කණ්ඩායම් සහ සංවිධාන වත්මන් ශ‍්‍රමික ජනතාවගේ ඉල්ලීම භාර ගනිමින් ක‍්‍රමක‍්‍රමයෙන් ශක්තිමත් වෙමින් සමාජවාදී, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලව සහ ජාතික විමුක්ති අරගලවලට ඔවුන්ගේ විමුක්තිය දිශානතිය සඳහා ඒකාබද්ධ නායකත්වයක් ලබා දීමට කටයුතු කරමින් සිටිති. මේ අතර සමගිය සහ සහයෝගීතාව වර්ධනය වෙමින් පවතී. ජාත්‍යන්තර සංසදයක් ගොඩනැගීමේ අවශ්‍යතාවයට එකඟ වී මාඕවාදී සංවිධාන කිහිපයක් මේ වෙනුවෙන් ඉල්ලා සිටින ලද ක‍්‍රියාමර්ගයන් ක්ෂණිකව ගනු ලැබීම සතුටුදායක කාරණයකි. මෙය ලෝක නිර්ධන පංතියේ වර්ධනය වන මනෝමූලික ශක්තිය පෙන්නුම් කරයි. මෙය පදනම් කරගෙන, අධිරාජ්‍යවාදීන්ගේ සියලූ ආකාරයේ ප‍්‍රහාර සහ යුද්ධවලට එරෙහිව සටන් කිරීමට, ලෝකයේ සාමය ඇති කිරීමට, විශේෂයෙන් යුක්රේනයට සහ අධිරාජ්‍ය විරෝධී අරගලයන්ට එක්සත් නායකත්වයක් සැපයීමට නිශ්චිත සැලැස්මක් සමග එක්සත් ජාත්‍යන්තර සංසදයක් පිහිටුවීමට උත්සාහ කරමු. ලෝක සමාජවාදී විප්ලවය ඉදිරියට ගෙන යමු. මේ වෙනුවෙන් අපි තවදුරටත් එක්සත් වෙමු.



අත්සන් කරන ලද පක්ෂ සහ සංවිධාන

ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී)

තුර්කි කොමියුනිස්ට් පක්ෂය/මාක්ස්වාදී-ලෙනින්වාදී

පිලිපීන කොමියුනිස්ට් පක්ෂය

ගැලීෂියාවේ මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය ඉදිකිරීමේ කමිටුව

මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය - ඉතාලිය

නේපාල කොමියුනිස්ට් පක්ෂය (විප්ලවීය මාඕවාදී)

ඇෆ්ගනිස්ථාන් කොමියුනිස්ට් (මාඕවාදී) පක්ෂය

ඇෆ්ගනිස්ථාන් කොමියුනිස්ට් (මාඕවාදී) පක්ෂය - ෂෝලා ජේවිඩ්

එල් කදෙහිනාස් පක්ෂය - ටියුනීසියාව

මාඕවාදී විප්ලවීය ලිගය - ශ‍්‍රී ලංකාව

නෝර්වේ විප්ලවීය කොමියුනිස්ට්වාදීන් (ආර්කේ)

බ්රිතාන්ය විප්ලවීය සාමූහිකය (කලින් ආර්වීඑම්)

ඉරානයේ රතු මාවත මාඕවාදී කණ්ඩායම

 

No comments:

Post a Comment